රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 55 වන සංවත්සරය

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 55 වන සංවත්සරය සැමරීම සහ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට කළ අමිල දායකත්වය අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කළ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ දේශනය සහ 55 වන සංවත්සර සැමරුම් උත්සවය ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 සැප්තැම්බර් 30 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

මෙම උත්සවය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනම එක්ව සංවිධානය කර තිබුණි.

මහාචාර්ය සේනක බිබිලේ මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිර්මාතෘ සහ ප්‍රථම සභාපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ පුරෝගාමියෙකු ලෙසත් ඉටු කළ ඓතිහාසික මෙහෙවර මෙහිදී සිහිපත් කෙරිණි.

මෙහි ප්‍රධාන අනුස්මරණ දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සේනක පිලපිටිය මහතා විසින් පවත්වන ලදී. මහාචාර්ය බිබිලේ මහතාගේ දැක්ම වර්තමාන සෞඛ්‍ය හා ඖෂධ ප්‍රතිපත්ති ක්ෂේත්‍රයට අදාළ කරගැනීම පිළිබඳව දේශනයේදී අවධානය යොමු කෙරිණි.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ දැක්ම සහ උරුමය ඉදිරියට ගෙන යමින්, දිවයින පුරා විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් අතරින් තෝරාගත් දක්ෂතම ශිෂ්‍යයන් 11 දෙනෙකු සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් පිරිනමනු ලබන මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ශිෂ්‍යත්ව පිරිනැමීම මෙවරද සිදු කෙරිණි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මහාචාර්ය බිබිලේ මහතාගේ අධ්‍යාපනික හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැක්ම සමඟ සම්බන්ධ කරමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් , විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විද්වතුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පවුලේ සාමාජිකයන්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල සිසුන්, මාධ්‍ය නියෝජිතයන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.